Home » News »

නිලධාරීන්ගේ ආදායම් බදු ආණ්ඩුවේ මුදලින් ගෙවලා 2011 දී පමණක් කෝටි 250ක් අරන්

 

රාජ්‍ය අංශයේ සේවයේ නියුතු උසස් නිලධාරීන්ගෙන් විශාල පිරිසක් සිය ආදායම් බදු ගෙවීම සඳහා රජයේ මුදල් හෙවත් මහජන මුදල් භාවිත කර ඇතැ’යි හෙළිදරව් වේ. රාජ්‍ය විගණනයට අනුව මේ නිලධාරීන් 2011 වසර සඳහා පමණක් රුපියල් කෝටි 250කට වැඩි මුදලක් වංචනික ලෙස භාවිත කර තිබේ.

ඉහත කී නිලධාරීන් 2012 වසර සඳහා මීට වැඩි මුදලක් වංචනික ලෙස යොදාගෙන ඇතැ’යි විශ්වාස කරන අතර එම ගණන්හිලව් විගණනය වෙමින් පවතී.

මුදල් රෙගුලාසි හා ආදායම් බදු පිළිබඳ නීතියට අනුව ඕනෑ ම පුද්ගලයකු ආදායම් බදු ගෙවිය යුත්තේ තමන් උපයන ආදායමෙන්ය. රාජ්‍ය අංශයේ නිලධාරීන් ද තම වැටුපෙන් ආදායම් බදු ගෙවිය යුතුය.

එහෙත් ඉහත කී පිරිස ඉතා ප්‍රෝඩාකාරී ලෙස රාජ්‍ය මුදල් පාවිච්චි කරමින් තමන්ගේ ආදායම් බදු පියවාගෙන ඇති අතර එය දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් ඇති බවද හෙළිදරව් වෙමින් පවතී.

රජයෙන් වැටුප් ලබන පුද්ගලයන් ඒ සඳහා රජයට ගෙවිය යුතු ආදායම් බද්ධ ගෙවිය යුත්තේ ඔවුන් උපයන ඔවුන්ගේ ආදායම්වලින් පමණි. එය රජයේ මුදල්වලින් ගෙවීම බරපතළ වංචාවක් බව පෙන්වා දෙන විගණනය එය රජයට කිසිදු ආකාරයකින් ආදායමක් නොවන අතර රජයේ මුදල් වංචනිකව වියදම් කිරීමක් බවද පෙන්වා දෙයි.

මෙරට දළ දේශීය ආදායමින් සියයට තිස්පහක් ආදායම් බදුවලින් අය කර ගත යුතු වෙයි. එහෙත් එම ප්‍රතිශතය නියමාකාරයෙන් නොලැබෙන පරිදි බොහෝ දෙනා බදු වංචාකාරීන් බවද පෙන්වා දෙයි.

රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ඇතුළු බොහෝ ආයතනවල නිලධාරීන් දහස් ගණනක් ඔවුන් විසින් ගෙවිය යුතු ආදායම් බදු ගෙවා ඇත්තේ එම ආයතනවල මුදල්වලිනි. එපමණක් නොව එම ආයතනවලින් රජයේ භාණ්ඩාගාරයට යැවිය යුතු මුදල්ද යැවීම පැහැර හැර ඇති ආයතන බොහෝ වෙයි.

ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ගේ ඇස් වසා රාජ්‍ය නිලධාරීන් මෙසේ කරගෙන යන මෙම වංචාවන් හෙළිකර ගැනීම පිළිබඳව පසුගිය දා පැවැති රජයේ විගණන නිලධාරින්ගේ වාර්ෂික සමු‍ළුවේදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩියු ගුණසේකර මහතා රාජ්‍ය විගණනය ඇගයීමට ද ලක් කළේය.

Source: Dinamina (Sri Lanka)