Home » News »

ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී බෝල පැලූ “මාස්‌ටර් බ්ලාස්‌ටර්” දැන් සරසවි සිසුන්ගේ ඔළු පලන්න පටන් අරන් – ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

 

Sanath_j

ක්‍රිකට්‌ ක්‍රීඩාවේදී බෝල පැලූ “මාස්‌ටර් බ්ලාස්‌ටර්” දැන් සරසවි සිසුන්ගේ ඔළු පැලීමට පටන්ගෙන ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

හෙතෙම ඊයේ (03 වැනිදා) එම අදහස්‌ පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ටිල්වින් සිල්වා මහතා,

සනත් ජයසූරියට මීට පෙර කිව්වේ “මාස්‌ටර් බ්ලාස්‌ටර්” කියලයි. ඔහු මීට කලින් බෝල පැලුවා. ඔහු දැන් සිසුන්ගේ ඔළු පලන මැර පිරිස්‌ මෙහෙය වන්නෙක්‌ බවට පත්වෙලා. මීට පෙර ආණ්‌ඩුවේ මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ වුණේ මර්වින් සිල්වායි. දැන් ඔහු තමන්ගේ වළ කපාගෙන පැත්තකට වෙලා ඉන්නවා. දැන් මර්වින්ගේ භූමිකාව රඟ පාන්නේ සනත් ජයසූරියයි. සනත් ජයසූරියලා මේ හදන්නේ සිසුන්ට වළ කපන්නයි. රුහුණු විශ්වවිද්‍යාලයේ දැයට කිරුළ තියාගන්න බැරි වේදනාව සිසුන් පිටින් අරිනවා. සනත් ජයසූරියලා උද්ඝෝෂණය කළ යුත්තේ සියඹලාපිටියගේ නිවස ඉදිරිපිටයි. මොකද දැයට කිරුළ රුහුණු විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරගත්තේ රංජිත් සියඹලාපිටියයි. එපමණක්‌ නෙවෙයි සනත් ජයසූරිය කියල තිබුණා “දැයට කිරුළ” රුහුණේ පවත්වනතුරු උද්ඝෝෂණ කරනවා කියලා. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙන්නේ ගැටුමක්‌ නිර්මාණය කර විශ්වවිද්‍යාලයේ කටයුතු අඩපණ කරන්නයි. ඔවුන්ගේ උත්සාහය දැනටමත් සාර්ථක වී තිබෙනවා. ඊයේ (03 වැනිදා) උදේ වන විට රුහුණ විශ්වවිද්‍යාලය දින නියමයකින් තොරව වහන්න පරිපාලනය තීරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාලය වැහුවත් සිසුන්ට එළියට යන්න බැරි තත්ත්වයක්‌ උදාවෙලා තිබෙනවා. දැන් ආණ්‌ඩුවේ මැරයන් උත්සාහ කරන්නේ විශ්වවිද්‍යාලය වහලා එළියට එන සිසුන් හුදෙකලා කරලා පහර දෙන්නයි.

මෙය ඉතා අතිශය ම්ලේච්ඡ ක්‍රියාවලියක්‌. ආණ්‌ඩුවක්‌ කොහොමද අධ්‍යාපනය ලබන්න විශ්වවිද්‍යාලයට එන දරුවන්ට මේ විදියට පහර දෙන්නේ? ආණ්‌ඩුවකට මෙහෙම කරන්න පුළුවන්ද? මහජන ඡන්දයෙන් බලයට ආපු ඇමැතිවරු දැන් විශ්වවිද්‍යාල දරුවන්ට පහර දෙමින් ඉන්නවා. එපමණක්‌ නොවෙයි මේ සම්බන්ධයෙන් නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. සිසුන්ට, දෙමව්පියන්ට හැංගෙන්න තැන් හොයා ගන්න කියලා තර්ජනය කරපු එස්‌.බී.ගෙන් රහස්‌ පොලිසිය කටඋත්තරයක්‌ ගත යුතුයි. ඒ වගේම අපි කියනවා සනත් ජයසූරියට “දැයට කිරුළ” මාතරම තියන්න ඕනෑ නම් ඕන තරම් තැන් මාතර තියෙනවා කියලා.

ආණ්‌ඩුව දැන් විශ්වවිද්‍යාල සිසුන්ට, වැඩකරන ජනතාවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා පහර දෙන තත්ත්වයක්‌ උද්ගතවෙලා තියෙනවා. එනිසා මෙම තත්ත්වය පරාජය කළ යුතුයි. මේ විදියට රටක්‌ ඉදිරියට ගෙනියන්න බැහැ. අපි ආණ්‌ඩුවට දැඩිව කියා සිටිනවා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වන්න කියල. එමෙන්ම රුහුණ විශ්වවිද්‍යාලය වහාම විවෘත කර සිසුන්ගේ ඉගෙනීමේ අයිතිය තහවුරු කළ යුතුයි. මෙයින් පීඩාවට පත්වෙන්නේ සිසුන් පමණක්‌ නොවෙයි, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවා මෙම සිද්ධියෙන් දැඩි ලෙස පීඩා විඳිනවා. එවැනි භීෂණයක්‌ දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එනිසා ආණ්‌ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී, ම්ලේච්ඡ ගමන වහා නතර කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම ජනතාවට මේ සඳහා ආරාධනා කරනවා. නීතිය, යුක්‌තිය, සදාචාරය නොතකා ජනතාවට පහරදෙන මෙම ආණ්‌ඩුව ගමන් කරමින් සිටින්නේ µeසිස්‌ට්‌වාදය කරායි. දැන් ආණ්‌ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම දක්‌වා ඇදගෙන යමින් තිබෙනවා. එනිසා මේ ආණ්‌ඩුව සියලු තැන්හිදී පරාජයට පත්කළ යුතුයි.

මෙම මාධ්‍ය හමුවට ජවිපෙ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්‌ස මහතාද සහභාගි විය.

සිරිමන්ත රත්නසේකර
Source: Divaina (Sri Lanka)
Image courtesy  Divaina (Sri Lanka)