වකුගඩු රෝගයෙන් මෙතෙක් මියගිය උතුරුමැද පළාතේ පුද්ගලයන් විසිදහස (20,000) වෙනුවෙන්, එක් අයකුට රුපියල් පන්ලක්ෂය බැගින්ද, වකුගඩු රෝගයෙන් පෙළෙන එම පළාතේ සෑම පුද්ගලයකුටම රුපියල් දසලක්ෂය බැගින්ද මෙරටට අධික විෂ සහිත කෘෂි රසායන ද්‍රව්‍ය සහ පොහොර ආනයනය කරනු ලබන බහුජාතික සමාගම්වලින් ලබාදෙන ලෙස රජයට බල කිරීමේ උද්ඝෝෂණයක් ඊයේ (3 වැනිදා) මැදවච්චිය නගරයේදී පැවැත්විණි.
අනුරාධපුර මරදන්කඩවල සිතු සුවය පදනම මගින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි වකුගඩු රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල ඥතීන් ඇතුළු දහසකට අධික පිරිසක් සහභාගි වූහ.
ඊයේ පෙරවරු 9.30 ට පමණ මැදවච්චිය නගරයට රැස්වූ ඔවුහු එහිදී මඳ වේලාවක් උද්ඝෝෂණයේ නිරතව සිට අනතුරුව මැදවච්චිය බස් නැවතුම්පළ දක්වා විරෝධතා පා ගමනක ද නිරත වූහ.
උතුරුමැද පළාත් සභා එජාප මන්ත්‍රී ඩී. එම්. අමරතුංග මහතා සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි චන්ද්‍රdනි බණ්ඩාර මහත්මිය, උතුරුමැද පළාත් සභා මන්ත්‍රීවරුන් වන අනිල් රත්නායක, අරුණ බුද්ධික ගුණසේකර සහ එම්. සහීදු යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
පසුගිය වසර 15 ක කාල සීමාව තුළ උතුරුමැද පළාතේ වකුගඩු රෝගය වැලඳීමෙන් විසි දහසකට අධික පිරිසක් මියගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය හා මෙරට වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන පරිදි පළාතේ සමස්ත ජනගහනයෙන් සියයට 15.3 කට ආසන්න පිරිසක් වකුගඩු රෝගයෙන් පෙළෙන බවත් රජයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අනාවරණය කර තිබියදීත් තවදුරටත් මිනිස් ජීවිත වනසන අධික විෂ සහිත රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමට බහු ජාතික සමාගම්වලට ඉඩදී රජය නිහඬව බලා සිටීම කනගාටුවක් බව මෙම උද්ඝෝෂණයට එක්වූවෝ කියා සිටියහ.
එබැවින් විෂ අධික කෘෂි රසායනික ද්‍රව්‍ය හා බාල තත්ත්වයේ පොහොර මෙරටට ආනයනය කරනු ලබන බහු ජාතික සමාගම්වලින් වකුගඩු රෝගය හේතුවෙන් මියගිය සහ එම රෝගයෙන් පෙළෙන සියලු දෙනාට වහා වන්දි මුදල් ලබාදීමට රජය පියවර ගත යුතු බවත් මේ සම්බන්ධයෙන් රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කළහොත් තම ඉල්ලීම් ඉටුවන තෙක් අඛණ්ඩ උද්ඝෝෂණයක නිරත වන බවත් ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.
Source: Divaina (Sri Lanka)
Image courtesy : Divaina (Sri Lanka)
